Tuesday, June 4, 2013

මල් වඩම් අනවශ්‍යයි- No flowers required



ඉස්සර කෙනෙක් මැරුණම, රේඩියෝ එකේ දාන එක තමයි ළොකුම දේ. මේ මරණ දැන්වීම් කියවන්න විශේෂඥ නිවේදකයෝ ඒ කාළේ ගුවන් විදුලියේ හිටියා. සංනිවේදනය බොහෝම දුර්වල ඒ කාළේ, මේකට සවන් දෙන්න හැමෝම වගේ පුරුදු වෙලා උන්නා. "ඇන් ඇම්ට පුළුවන්ද 77 ජයගන්න" ටියුන් එක ගහලා, නිව්ස් කියෙව්වයින් පස්සෙ, මරණ දැන්වීමක් දෙකක් යනවමයි. මොකෝ අද වගේ ජංගම දුරකථන තියා ලෑන්ඩ් ෆෝන් එකක් තිබුනෙත් කළාතුරකින් ගෙදරක තමයි. අද දරුවෙක් ඉස්කෝලෙකට දාගන්නවා වගේ තමයි ඒ දවස්වල ගෙදරට ටැලිපෝන් එකක් ගන්න වැඩෙත්.

ඔය වයර්ලස් එකේ දානවට අමතරව, පත්තරේ "අවමංගල දැන්වීම්" තීරයෙත් මරණ ගැන විස්තර තිබුනා. තාමත් තියෙනවා. මැරුණ කෙනාට වඩා විස්තර තියෙන්නේ ජීවත් වෙන උන් ගැන ළොකු කතාවක්. ඒ කියන්නේ, දරපු හෝ දරන්නාවූ තනතුරු, ඉන්න කොම්පැනි, ඉන්න රටවල් ගැන ළොකු විස්තරයක් ඕකේ තියෙනවා. ඔය කතන්දරේට පස්සෙ සමහර මරණ දැන්වීම් වල තියෙන දෙයක් තමයි "මල් වඩම් අනවශ්‍යයි" කියලා දාන එක.

සමහර උන් නම් කියන්නේ, මල් වඩමක් දෙකක් තිබුනම, නිකන් තත්වෙටත් සවුත්තු නිසා එහෙම දානවා කියලා. සමහර උන් නම් කියන්නේ, මල් වඩම් තියන්න ඉඩක් නැති නිසා එහෙම දානවා කියලා. කොහොම උනත්, ඔහොම නිවේදන දාලා තියෙන මළ ගෙවල් වලත්, මල් වඩම් තියෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා. මල් වඩම ගෙනියන්නෙත් තමන්ගේ තත්වෙ පෙන්නන්න පුළුවන් විදියට, පුළුවන් තරම් ළොකු, මිළ අධික මල් වලින් හදපුවා ගෙනිච්චම, කවුරුත් ඒ දිකා බලනවා. අනික මැරිච්ච එකාට දැන ගන්න, මල් වඩම ගෙනාවේ කව්ද කියලත් ලේබල් එකක් ගහලා තියෙනවා.මම දැකලා නැති උනාට. කස්ටිය එහා මෙහා වෙනකන් බලන් ඉඳලා, මැරිච්ච එකා මේවා සමහර විට බලනවත් ඇති.

ඉස්සර ඔය ලේබල් එක හරි විශාලයි, ළඟට ගිහින් කියවන්න ඕන නෑ. ජේවීපී පෝස්ටර් වගේ පොල් අකුරෙන් තිබුනේ. අකුරුත් ටිකක් ඊට සමානයි. වටේට විතරයි මල් තිබුනේ, අද ඒවත් එක්ක බැලුවම ඒවත් නිකන් දෙකයි පනහේ ඇන්තූරියම් මල් වගේ ඒවා තමයි තිබුනේ. අද නම් වෛවාරන්න ඒවා තියෙනවා. මිනිස්ටර්ලගෙ ඒවා අතරේ ප්‍රසිඩන්ට්ගේ එකකුත් තිබුනා නම් තමයි, නියම මරණයක් වෙන්නේ. ඒ වගේම තමයි ඒයා එන එකත්, ඒයත් ඉතින් හිත් රිද්දන්නේ නැතුව ඕන මළ ගෙයක් අස්සෙ රිංගනවා. මොකෝ කරන්න කියලා වෙන වැඩකුත් නෑනේ. රට කරවන්න අති දස්ස, පස්සපාති, කාර්යස්සම සෙට් එකක් ඉන්න එකේ. ඒ නිසා එයාට තියෙන්නේ ඔය මළ ගෙවල්, දාන ගෙවල්, කොටහලු ගෙවල්, කසාද අස්සන් කරන ඒවා වගේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි.

පොඩි කාළේ තියෙන චාටර්ම වැඩක් තමයි, මළ ගෙවල් වල මල් වඩම් උස්සගෙන පෙරහැරේ යන එක. සමහර උන් නම් පැනලා එන්නේ. මළ ගෙදර උන් හූ තියාගෙන අඬන අස්සේ, මල් වඩමක් නෑ කියලා අඬන උනුත් මම අනන්ත දැකලා තියෙනවා. "අනේ මාවත් අරන් පලෝ" කිය කියා අඬ අඬ ගියාට, වලට පස් දාන්නෙත් වලෙන් බොහොම ඈතට වෙලා පරෙස්සමෙන්, මොකෝ වලට වැටුනොත්, වැටුන එකත් දාලා වහයි කියන බයට. ඒත් මම එකම මළ ගෙදරක දැක්කා, එකෙක් වලට පැනලා පෙට්ටිය බදාගෙන ඌවත් දාලා වහන්න කියනවා. හැබයි හොඳ සිහියෙන් උන්න එකෙක් නෙමෙයි, බීපු එකෙක්. අනේ ඉතින් මැරිච්ච එකාගේ තනියට ඉතුරුවෙන්නෙ අර මල් වඩම් ටික විතරයි. ඒ නිසාමද මන්දා අපි මෙච්චර මල් වලට ලව් කරන්නේ.

No comments:

Post a Comment