Friday, October 11, 2013

ඔන්න කපල්

කපල් කිව්ව ගමන් මොකක්ද කට්ටියට හිතට ආවේ ?
හරි හරි ආපු එක හිතේම තියාගන්නකෝ. ඉතිං මේ කපල් ගත්තම කැටගරි ගොඩකට වෙන් කරන්න පුළුවන්නේ. පිරිමි-ගැහැණු, ගැහැණු-ගැහැණු, පිරිමි-පිරිමි, තවත් තියෙනවද මන්ද ! අර ගැහැණුපිරිමි-ගැහැණු වගේ.තේරුනාද මන්ද. හරි හරි කොහොම වුනත් ප්‍රධාන වශයෙන් ඕවනේ මේ දවස්වල ප්‍රසිද්ධ කපල් කැටගරීස්. ඕකෙන් අපි ගමු ගැහැණු-පිරිමි කපල් ගැන.



 

ඒ වර්ගයේ කපල්නම් ඉතිං හැම තැනම දැකල ඇතිනේ. ඉස්කෝලේ, බස් එකේ, කැම්පස් එකේ, හොටෙල් වල, පාරවල් වල,කැලෑ වල, මුහුදු වෙරළේ, යන ආදී වශයෙන් ගත්තම කපල් නැති තැනක් නැති තරම්නේ. ඔතනින් අපි බස් එක සිලෙක්ට් කරගමුකෝ.

කපල් වලින් කොල්ලා ගත්තම එතනත් සබ් කැටගරි හෙන ගොඩකට කඩන්න පුළුවන්නේ. කොහොම වුනත් කෙල්ලො නම් සබ් කැටගරි වලට කඩලා තේරුමක් නෑනේ,මොකද ලඳුන් කවදත් ලඳුන්නේ. ඒ අය කෙනෙක්ට කෙනෙක් අනිවාර්යෙන්ම වෙනස්. වෙනත් සාධක නොසලකා හැරලා පාලනය කරන ලද තත්ත්ව යටතේ උපරිම ට්‍රයි එකක් දීලා අපිට පුළුවන් වෙයි සමහරවිට ගැහැනුන් දෙන්නෙක්ව ආසන්න වශයෙන් සමාන කරගන්න.ඒකත් සීමිත කාලයකට පමණයි.

හරි දැන් මේ කොල්ලෝ ගැනනේ කියාගෙන ආවේ. ඉතිං මේ කපල් වල සමහර කොල්ලෝ හිතාගෙන ඉන්නේ උගේ කෙල්ල එක්ටැම් ගෙදරකතියන්න.



 

කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක හිනාවෙන්න බෑ. කතා කරන්න බෑ. ලඟින් යන්න බෑ. කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් කෙල්ලට දෝසෙ. කොල්ලෝ නිතර ගැවසෙන දවස් හෝ ස්ථාන වලට යනකොට කෙල්ලට ලස්සනට ඇඳුමක් අඳින්නවත් දෙන්නේ නෑ. ඉතිං උගේ ලව මහප්‍රානෙන්ම කුඩා බඩවැලේ කෙලවරේ සිට නැගී එන්නක්.
එහෙම එකෙක් සෙට් වුනු කෙල්ල ඒ කොල්ලව වෙනස් කරලා හදාගන්නේ නැතුව කොල්ලගේ විදියට ඉන්න ගියොත් දෙයියන්ගේම පිහිටයි. කාටද ඔහොම ජීවත්වෙන්න පුළුවන් ? උගේ ආදරේ මහමෙරක් කියන්නේ මේකට තමා කියලා හිතාගෙන අරූවම පතාගෙන ඉන්න කෙල්ලොත් නැත්තේම නෙවෙයි. හැබැයි වැඩි කාලයක් එහෙම ඉන්නවද කියලනම් මම දන්නේ නෑ. මොකද කෙල්ලගේ වුනත් සීමාවක් තියෙනවනේ.

සමහර කොල්ලොනම් ඉතිං එහෙම මොකුත් නෑ කෙල්ලව යම් මට්ටමකට තියාගෙන ඉන්නවා.කාටවත් හානියක් නෑ.දෙන්නම දෙන්නගෙම යම් යම් නීතිවලට යටත්ව සතුටෙන් සාමයෙන් ඉන්නවා. නීති කියන්නේ ඉතිං මහා නීතිමත් නෙවෙයි හදිසියකට කඩාගන්න පුළුවන් නීති වගේ වෙන්නැති.

තව වර්ගයක් තියෙයි කොල්ලට කෙල්ල වෙන එකෙක් එක්ක පැනල ගියත් ගානක් නැති ගානට තමයි ඉන්නේ. දෙන්නා අතර තියෙන්නේ ප්‍රේමයකට වඩා මිතුදමක්ද කියලයි හිතෙන්නේ. දෙන්න අතර හැසිරීමත්, කතාවත් ලිමිට් එක පැනලද මන්ද. එකෙත් ඉතිං හොඳයි නරකයි දෙකම දකින්න පුළුවන්.
කොහොමවුනත් ඔය කැටගරි ගැන වැඩි විස්තර නැතුව ඔතනින් මම අර මුලින් කිව්ව එක්ටැම් ගෙදර තියාගෙන කෙල්ලව පරිස්සම් කරන කොලු වර්ගය සිලෙක්ට් කරගෙන ඉස්සරහට යමු.

බස් කපල් ගත්තම ඉතිං ආයෙත් එක එක කොටස් වලට කඩන්න පුළුවන්නේ. (අද මු කැටගරි බෙදනවා විතරයිද කොහෙද නෙහ් ?). අර අලියෙක්ව අන්ධයෝ අතපත ගාලා එක එක විධි වලට කිව්වලුනේ. ඒ වගේ බස් එකත්, ප්‍රේමයෙන් අන්ධ වෙලා නිසා එක එක කපල් වලට එක එක විධි වලට තමයි පේන්නේ.
සමහර කපල් වලට බස් එක ගමනක් යන්න තියෙන අනිත් මිනිස්සුත් යන හැමෝගෙම බස් එක වගේ, සමහර අයට ටොපියක් දෙකක් දාගෙන කිරි කර්මාන්තයත් කෙහෙල් කර්මාන්තයක් අතපත ගාගෙන ඉන්න පුළුවන් ෆිල්ම් හෝල් එකක බොක්ස් එකක් වගේ. සමහර අයටනම් මධුසමේ ඇඳ වගේ. සමහර අයට පවුලේ ඔක්කම රණ්ඩු ප්‍රශ්න විසඳන ගෙදර සාලේ හෝ කාමරේ වගේ. ඔහොම ඔහොම නානාප්‍රකාර විධි වල කපල්.

ඔව් ඔව් දැන් අවුල මොකක්ද බං අර ටොපි කතාව කියලනේ. ටොපිය ගැන නොදන්නා උන්ට ඒ ටොපි කලාව ගැන මුලින්ම කියලා ඉන්නම්.
ඉතිං මේක ඉස්සර හොරෙන් හොරෙන් හැංගිලා කරපු දැන් කාලේ ඉන්න සමහරක් බස් එකේම කරන එකක් තමා. ඒකත් අමුතු කලාවක් තමයි.කෙල්ලයි කොල්ලයි ටිකක් වෙලා මුකුළු කර කර ඉන්නවා. මෙන්න ටිකවෙලාවකින් මුන්ගේ ඔළු ගෙඩි මූට්ටු වෙලා. ටික වෙලාවක් එහෙම ඉඳලා ඔන්න දැන් දෙන්නත් එක්ක හිතින් මවාගන්නවා දෙන්නගේ මුණු මැද ටොපියක් තියෙයි කියලා. ඊළගට ඉක්මනට ටොපිය අයිතිකරගන්න වෙරදානවා. ඕක තමා කලාව. ඉතිං ඔහොම ටොපියක් බස් එකේ දෙන්නත් එක්ක දමාගෙන උරනකොට මට නිකං ඇහෙනවා ඇහෙනවා පොඩි එකෙක් කියනවා"කට කාපිය නයිට්රයිඩර් කට කාපිය" කියලා.

ඔහොම ඉතිං තනි ටොපියක් කටවල් මැද තියන් සූප්පු කරන උන් දෙන්නා දිහා ඔන්න ඉස්කෝලේ ඇරිලා යන පොඩි උන් හොරෙන් බලනවා. පොඩි උන් හරිම වෙට්ට පිත්තලයෝ තමයි. උන්ගේ මුණ, ඔලුව හැරවෙන්නේ වෙන දිහාවකට ඇස් තියෙන්නේ ටොපියට. දන්න ශිල්ප ඔක්කම දාලා සීන් එක බලාගන්න එකෙක්, අනිකට ඒක පෙන්වන්න ගන්නේ පුදුම ට්‍රයි එකක්. සමහර උන් කකුලෙන්, අතින්, අනිකට අනිනවා. සමහර උන් ඔළුවෙන්. හැබැයි අම්මලත් එක්ක යන උන්ට නෝ චාන්ස්. අම්මලා "චික් විතරක්" කියලා ළමයාගේ ඇස් අතින් වහලා අනිත් පැත්තේ සීට් අල්ලගන්නවා. නැත්නම් ඉස්සරහට හෝ පස්සට යනවා. සමහර ළමයි ඔය මොකුත් නෑ. ගෙදර කවුරුවත් එන්නේ නෑ කියලා බුදු ශුවර් පිට නිදහසේ අධ්‍යාපන චිත්තර පටියක් බලනවා වගේ ඔහේ බලාගෙන ඉන්නවා. ආයේ හැංගිලි නෑ වංචා නෑ හොර බොරු නෑ.

කිරි කර්මාන්තපුරය හා කෙසෙල් කර්මාන්තය ගැන නම් කවුරුත් දන්නවනේ. ඒවා දැන් කාලේ බස් ඒකෙ වෙනවා කියලත් දන්නවනේ. ඔය ඉතිං කොළඹ පරණ පාර දුර ගමන් බස්වල වගේ නෙවෙයි කඩුවෙල කොල්ලුපිටිය 177 බස්වලනම් ගියොත් ටිකක් හයිෆයි ලවර්ස්ලා කියලා හිතන් ඉන්න මහා ගොබ්බ කපල් ඔහොම දමාගෙන ටොපි උරනවා දකින්න පුළුවන්.හැම එවුන්ම නෙවෙයි. ඒකත් 177 ලේලන්ඩ් බස් එකට වඩා එයාලගේ රැඟිලි ඒසී එකක තමා තියෙන්නේ. හීතලට වෙන්ට. දැන් එහෙම කිව්ව කියලා 177 බස් වල යන හැම කපල් එක දිහාම ඔය කෝනෙන් බලනවා එහෙම නෙවෙයි.
කොහොමහරි මම මේ කියන්න ආවේ ඕකක් නෙවෙයි. ඔන්න ඉතිං මම බස් එකේ යනවලු. මම යන්නේ දුර ගමන් බස් එකක කඩුවෙල බලා. යනකොට යනකොට වරදක් නෑ ඉතිං ඩ්‍රයිවර් හොඳට පැදගෙන යනවා බස් එක. එදා ඉතිං සීට් සෙට්වුනේ නෑ.මම කොල්ලා හිටගෙන. මම හිටගෙන ඉන්නතැනට දකුණට වෙන්න තියෙන සීට් එකේ ලාබාල පෙනුම තියෙන කපල් එකක් යනවා. ඒ කිව්වේ මගේ කෙලින් තියෙන සීට් එකට පිටිපස්සේ සීට් එක. මම ඉතිං යන්නේ හෙඩ් මොනාද දෙක කනේ ගහගෙන සිංදුවක් දෙකක් දමාගෙනනේ. කොහොමවුනත් මුල ඉඳලම කොල්ලට පොඩි ගායක් තිබුනා. කෙල්ල දිහා බලන උන්ගේ දිහා මූ රවලා බලනවා. අර එක්ටැම් ගෙදරින් බස්සපු කෙල්ලෙක් වෙන්ට.

ඒ කෙල්ලත් ඉතිං ටිකක් විතර ඉතිං ඇහැට කනට පේනවලු. හැබැයි ඉතිං කොල්ලත් ඉන්න ඒවාට බහින්නේ මොකටද අපි. මම සිංදුව අහගෙන යනකොට කොල්ලා කෙල්ල දිහා බලාගෙන මොනාද කියවනවා.කෙල්ලත් කියවන ගමන් මම දිහා බලනවා. ඔව් ඔව් ඉතිං මම දිහාමද දන්නේ නෑ. මම හිතුවේ මම දිහා කියලා. මම ඉතිං කිරි සප්පයටත් වඩා අහිංසක ළමයනේ. කොහොමහරි කෙල්ල බලන දෙපාරම කොල්ලත් මගේ දිහා බැලුවා, නිකං මම උගේ කෑල්ලට අද රෑට පැනලා යන්න කතාකලා වගේ. කෙල්ල තව එක පාරක් බැලුවා.ඒක තමා අවසාන පාර මොකද කොල්ලා ඒ වෙලාවේ ඉඳලා මොකුත් කතා නැතුව මගේ දිහා හෙන ගේමේ බලාගෙන ඉන්නවා.

ඌ දැන් එහෙම අනිමිසේ කරන ගමන් උගේ පුරුෂ ශක්තිය වඩවනවා. මම සිංදුව අහගෙන ඔහේ ජනේලෙන් එලිය බලාගෙන යනවා. මටත් ඉතිං උගේ බැල්ම හරියන්නේ නැතිකමටද මන්ද උන් දෙන්න දිහා ආයේ බැලුවා. බැලුවා විතරයි කොල්ලා මොනවද කිව්වා. මට කොහෙද ඇහෙන්නේ. මම අර හෑන්ඩ් ෆ්‍රී දෙක ගලවලා කොල්ලා දිහා බැලුවා.
මෑන් අහනවා

"අයියේ වෙලාව කීයද ?"

ඉබාගාතේ ලියාගෙන ගියාට මොනා ලිවුවද කියලා සිරාට වත් මතක නෑ.ඔන්න ඔහේ පොස්ට් මැ කළා.පස්සේ වෙලාවක කියවලා බලනවා.

No comments:

Post a Comment