Wednesday, September 25, 2013

කෑම - බීම සහ පවුල් කෑම

ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…

කාගෙද බං….
ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.
එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.
උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?
මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය
මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.
ඉතිං…. ?
එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.
ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?
ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.
එහෙනං… ?
කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.
ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?
උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.
නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.
ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.
ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.
සර්.. මොනවද ගේන්නෙ ?
අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.
අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.
එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?
ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.
ඒ කිව්වෙ ?
හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.
උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.
මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.
උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.
හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..
ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?
හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.
ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..
ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං
උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…
හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?
නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.
පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..
ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….
මචං.. උඹ බීෆ් කනව නේද ?
අවුලක් නෑ..
එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..
හරි සර්..
ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?
අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.
උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?
උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?
තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !! 

Tuesday, September 24, 2013

පාන් ටෝස්ට් සහ ජීවිතය

මේක ඇවිල්ලා සිරාගේ කතාවක් නෙමෙයි.සිරාට අහන්න ලැබුන එකක්.ඇසීමෙන් උන්දුකපුච්චය සිසාරා විනිවිද ගිය උත්කෘෂ්ට වූ පස්වනක් ප්‍රීතියට පැමිණීම නිමිත්තෙන් පොට් එකේ දැමුවෙමි.කියවලා බලන්න.හොද නම් යමක් එකතු කරගන්න.


මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.

බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.

එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"

එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.

එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.

අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.

වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.

කන්දක් නැග්ගොත් පැල්ලමක් තිබෙයි.උත්සාහය සෑම විටම ඔබව ජයග්‍රාහකයෙකු කරයි...